Friday, April 6, 2018

පරිගණක ජාල වර්ග [COMPUTER NETWORK TYPES]

 පරිගණක ජාල වර්ග [COMPUTER NETWORK TYPES]


        පහුගිය ලිපියෙන් මම කතා කලේ පරිගණක ජාලයක් කියන්නෙ මොකක්ද කියලා. අද අපි කතා  කරමු මේ පරිගණක ජාල වර්ගීකරණය කරන්නෙ කොහොමද කියලා. 

          පරිගණක ජාල, ඒවායේ  යෙදීම්  හා ඒවායේ ආවරණ ප්‍රදේශයේ ප්‍රමාණය මත ප්‍රධාන වර්ග තුනකට වෙන්කරන්න පුලුවන්. ඒවා තමයි,
  1. Local Area Network (LAN)
  2. Metropolitan Area Network (MAN)
  3. Wide Area Network (WAN)


දැන් අපි බලමු මොනවද මේ LAN, MAN සහ WAN කියන්නෙ කියලා. 

  • Local Area Network (LAN)



LAN හෝ ප්රාදේශීය ජාලයක් කියන්නෙ ජාල සම්බන්ධක උපකරණ සම්බන්ධ කරගනිමින් පෞද්ගලික පරිගණක සහ කාර්යාලයේ පරිගණක අතර දත්ත, මෙවලම් සහ වැඩසටහන් හුවමාරු කර ගත හැකි වන පරිදි TCP / IP ප්රොටෝකෝලය මගින් අර්ථ දක්වා ඇති ආකාරයට ජාලකරණය කරන ලද පරිගණක ජාලයක්. මෙම පරිගණක ජාලයක ඇති පරිගණක සම්බන්ධතා සංඛ්‍යාව සීමා සහිත බැවින් ඉතා ඉක්මනින් දත්ත හුවමාරු කර ගන්නා අතර සාපේක්ෂව අඩු වියදම් සහිත දෘඩාංගවලින් සමන්විත වෙනවා.(හබ්, ජාල ඇඩප්ටර, ස්විච්, සහ ඊතර්නෙට් කේබල්).මෙම LAN හි ඇති තවත් විශේෂ ලක්ෂණයක් තමයි මෙම ජාලයක් ආවරණය කරන භූගෝලීය ප්රදේශය සාපේක්ෂව ඉතා කුඩා එකක් වෙන එක (විශාලත්වය කිලෝමීටර කිහිපයක් දක්වා සීමා වේ). එමෙන්ම මෙම ජාලයකට පෞත්ගලික අයිතිකාරයකු සිටීමත් තවත් එක් ලක්ෂණයක් වෙනවා. කාර්යාල ගොඩනැඟිල්ලක්, නිවසක්, රෝහලක්, පාසලක් ආදිය සඳහා මෙම LAN පරිගණක ජාල භාවිතා කරන්න පුලුවන්.

        LAN නිර්මාණය සහ නඩත්තු කිරීම සාපේක්පෂව ඉතා පහසුයි. මෙම ජාලයන් සඳහා භාවිතා කරන සන්නිවේදන මාධ්‍යන් ලෙස Twisted pair කේබල්, Coaxial කේබල් සහ විද්යුත් චුම්භක තරංග සලකන්න පුලුවන්. මුල් කාලයේදී LAN වල දත්ත සම්ප්‍රේශණ වේගය 4 Mbps (තත්පරයට මෙගා බිට්) සිට 16 Mbps පරාසයක පැවතුනත් වර්තමානයේ සාමාන්‍යයෙන් 100 Mbps සිට 1000 Mbps පමණ වෙනවා. මෙම ජාල සඳහා රැහැන් සහිත සම්බන්ධතා බහුලව භාවිතා කිරීම මගින් වැඩි වේගයකින් සහ ආරක්ෂිතව තොරතුරු සම්ප්‍රේෂණය කරන්න පුලුවන්. එහෙත්, රැහැන් රහිත සම්බන්ධතාවයන්ද LAN ජාලයක තියෙන්න පුලුවන්. තවත් වැදගත් කාරණාවක් තමයි මේ LAN ජාලයක් සම්පූර්ණයෙන්ම රැහැන් රහිත සම්බන්ධතාවයන් වලින් යුක්ත වෙන්න පුලුවන්. මෙවැනි ජාලයක් අපි Wireless Local Area Network (WLAN) විදියට හදුන්වනවා.නමුත් මේ WLAN එකක ආරක්ෂාවනම් ටිකක් අඩුයි.

  • Metropolitan Area Network (MAN)









MAN නැත්තං මෙට්‍රොපොලිටන් ප්‍රාදේශිය ජාලයක් LAN ජාලයකට සාපේක්ෂව එයට වඩා විශාල ප්‍රදේශයක් ආවරණය කරන අතර WAN ජාලයකට වඩා එම ආවරණ ප්‍රදේශය කුඩායි. MAN ජාලයක් එකම නගරයේ හෝ  නගර කිහිපයක ඇති එකිනෙකට වෙන් වූ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට සම්බන්ධ කිරීම මගින් නිර්මාණය වෙනවා. මෙම ජාලයක් විශාල භූගෝලීය ප්රදේශයක් ආවරණය කරනවා වගේම අධිවේගී සම්බන්ධතාවයන් අවශ්‍ය පාරිභෝගිකයන් සඳහා තමයි මේ MAN ජාලයන් නිර්මාණය කරලා තියෙන්නෙ. නමුත් මෙට්රොපොලිටන් ප්රාදේශීය ජාලයක් නිර්මාණය කිරීම හා නඩත්තු කිරීමනම් තරමක් අපහසු කාර්යයක්.

          MAN ජාලයක දෝෂ ඇතිවීමේ හැකියාව අඩු වන නමුත් ජාලයේ තදබදයන් තරමක් සාපේක්ෂව වැඩියි. මෙම ජාලයක් නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම ඉතා මිල අධික කාර්යක් වන අතර ඒවයේ හිමිකාරීත්වය එක් ආයතනයක් හෝ ආයතන කිහිපයක් වෙන්න පුලුවන්. ඒ වගේම මෙම ජාලවල දත්ත සම්ප්‍රේෂණය කිරීමේ වේගය හා ප්‍රචාරණ ප්‍රමාදය (propagation delay) මධ්‍යස්ථයි. MAN හරහා දත්ත සම්ප්රේෂණය සඳහා භාවිතා කරන උපකරණ අතර මොඩමය සහ රැහැන් / කේබල් (fiber optics) විශේෂයි. ඒ වගේම රැහැන් රහිත MAN ජාලයනුත් තියෙනවා. MAN ජාලයක් සඳහා උදාහරණයක් විදියට නගරයක විවිධ ස්ථානවල පිහිටි එකම සමාගමක ශාඛා හෝ එහි අංශ (ගිණුම් අංශය, කලමනාකාරණ අංශය, බෙදාහැරීමේ අංශය) අතර පවතින ජාලයක් සලකන්න පුලුවන්.


  • Wide Area Network (WAN)



WAN හෝ Wide Area Network කියලා කියන්නේ විශාල භූගෝලීය ප්රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාලයක්. මෙම ජාලයකට එම රාජ්‍යය හෝ රට තුළ විවිධ සීමාවන් තියෙන්න පුලුවන්. මෙම තාක්ෂණය ඉතා වේගවත් නමුත් සාපේක්ෂව නිර්මාණයට සහ පවත්වාගෙන යාමට වැය වෙන මිල අධිකයි. මේ නිසා WAN ජාලයක් නිර්මාණය කිරීම සහ නඩත්තු කිරීම ඉතා  දුෂ්කර කාර්යයක්.

       WAN ජාල ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරන්න පුලුවන්. ඒවා තමයි ස්විච් කළ WAN (Switched WAN) සහ ලක්ෂ්‍යය-ලක්ෂ්‍යය WAN(Point-to-Point WAN). MAN ජාලයක් සමඟ සන්සන්දනය කරද්දී, WAN ජාලයක දෝෂ දරාගැනීමේ හැකියාව අඩුයි වගේම ජාලයේ තදබදයනුත් තරමක් සාපේක්ෂව වැඩියි. WAN සඳහා සන්නිවේදන මාධ්‍යයන් විදියට PSTN (Public Switched Telephone Network) හෝ Satellite Link භාවිතා කරනවා. මෙහිදී දිගු දුර සම්ප්‍රේෂණය නිසා දෝෂ ඇතිවීමේ හා තොරතුරු හානි වීමේ සම්භාවිතාවය වැඩියි.

         WAN ජාලයක දත්ත සම්ප්‍රේෂණ සීඝ්‍රතාව LAN ජාලයක මෙන් දස ගුණයකින් පමණ අඩුයි. එයට හේතුව තමයි වැඩි දුරක් දත්ත සම්ප්‍රේෂණය කිරීම සහ සේවාදායකයන් හා පර්යන්ත ගණන වැඩි වෙන එක. WAN ජාලයක දත්ත සම්ප්‍රේෂණ වේගය තත්පරයකට කිලෝබිට්(Kbps) කිහිපයක  සිට තත්පරයට මෙගාබිට්(Mbps) කිහිපයක් දක්වා විචලනය වෙනවා.ප්‍රචාරණ ප්‍රමාදය (propagation delay) මෙහි ඇති විශාලතම ගැටලුවක්. WAN ජාලයක් හරහා දත්ත සම්ප්‍රේෂණය කිරීමට භාවිතා කරන උපකරණ විදියට, Fiber Optic රැහැන්, ක්ෂූද්‍ර තරංග සහ චන්ද්‍රිකා වගේ දෙවල් සලකන්න පුලුවන්. ස්විච් කළ WAN ජාලයකට උදාහරණයක් විදියට අසමමිතික මාරු ප්‍රකාරයක් (asynchronous transfer mode) සළකන්න පුලුවන්. ඒ වගේම ලක්ෂ්‍යය-ලක්ෂ්‍ය WAN ජාලයක් සඳහා උදාහරණයක් විදියට නිවසේ ඇති පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කරන dial-up සම්බන්ධතාවයක් සළකන්න පුලුවන්. ඒ වගේම තමයි ලෝකය පුරා රටවල් ගණනාවක විහිදුනු බහුජාතික සමාගමක ශාඛා අතර පවතින ජාලයක් WAN ජාලයකට උදාහරණයක් විදියට සලකන්න පුලුවන්.


මෙම ප්‍රධාන වර්ගීකරණයට අමතරව වෙනත් ආකාරයේ පරිගණක ජාල කිහිපයක් තියෙනවා. ඒවා තමයි,
  • PAN (Personal Area Network)
  • SAN (Storage Area Network)
  • EPN (Enterprise Private Network)
  • VPN (Virtual Private Network)

  • PAN (Personal Area Network)




පුද්ගලික ප්රදේශ ජාලයක් (PAN) කියන්නේ එක් පුද්ගලයෙකුගේ පරාසය තුළ තොරතුරු තාක්ෂණික උපාංග කිහිපයක් එකිනෙකට සම්බන්ධ කරපු කුඩා ජාලයක්. සාමාන්‍යයෙන් මෙම ජාලයක් මීටර් 10 ක පරාසයකින් යුක්ත වෙනවා. මෙම ජාලයන්වල විශේෂත්වය තමයි මෙම ජාලයන් නිර්මණය වෙන්නෙ රැහැන් රහිතව වීම. උදාහරණයක් වශයෙන්, තම ලැප්ටොප් යන්ත්‍රයක් සමඟ සංචාරය කරන පුද්ගලයෙක් තම පෞද්ගලික ඩිජිටල් සහායකයා (PDA) සහ ජංගම මුද්‍රණ යන්ත්‍රය වැනි උපකරණ යම් ආකාරයක පිටස්තර රැහැන් රහිත තාක්ෂණයක් භාවිතා කිරීමකින් තොරව (wi-fi වැනි) PAN එකක් හරහා එකිනෙකට සම්බන්ධ කිරීම.

  • SAN (Storage Area Network)






ගබඩා කළමණාකරන ජාලයක් (SAN) කියන්නේ අධිවේගී ජාල සම්බන්ධතාවයක් හරහා එකිනෙකා සමඟ බෙදා ගන්නා දත්ත ගබඩා කරන උප පද්ධතියක්. SAN ජාලයේ අරමුණ වන්නේ සියළුම පරිශීලකයින්ට ඔවුන්ගේ පරිගණකයේ ස්ථාපනය කර ඇති ගබඩා උපාංග සඳහා පමණක් නොව බහු ගබඩා උපකරණ (NAS- Network Attached Storage වැනි) වෙත ප්රවේශ වීමට ඉඩ සැලසීමයි. 

         SAN වල ප්රධානතම වාසියක් වන්නේ, එහි පරිශීලකයින්ට එම ජාලය හා සම්බන්ධ ඕනෑම පරිගණකයකින් තම දත්ත වෙත ප්‍රවේශ වීමට හැකි වීමයි. තවද අනපේක්ෂිත ස්වභාවික ව්‍යසනයකදී දත්ත නැතිවීම්වලින් වැලකීමට බැකප් ගබඩා (Backup Storage) නිර්මාණය කිරීමටත්  SAN භාවිතා කරනවා.


  • EPN (Enterprise Private Network)


ව්‍යවසාය පෞද්ගලික ජාලයක් නැත්තං EPN කියලා කියන්නේ පරිගණක සම්පත් බෙදාහදා ගැනීම සඳහා ව්‍යාපාරයක් විසින් නිර්මාණය කරන ලද පරිගණක ජාලයක්.  එහි අරමුණ තමයි සමාගමේ විවිධ අඩවි හා විවිධ අංශ සමඟ අන්තර් සම්බන්ධතා පවත්වාගෙම යාම (නිෂ්පාදන ස්ථාන, කාර්යාල සහ සාප්පු වැනි). 

  • VPN (Virtual Private Network)



අතාත්වික පෞද්ගලික ජාලය, හෝ VPN කියලා කියන්නේ එක් ජාලයක ඇති පරිගණකයක් වෙනත් ජාලයක් වෙත අන්තර්ජාලය හරහා ගොඩනගාගන්නා සම්බන්ධතාවයක් කියන්න පුලුවන්. මෙහිදී එම සම්බන්ධතාවය හරහා ගමන් කරන ඉතා සංවේදී දත්ත ආරක්ෂිතව සම්ප්‍රේෂණය වන බවට වග බලා ගන්නවා. ඒ එම දත්ත ගුප්ත කේතනය කිරීම මගින් (Encryption). මෙමගින් අනවසර පුත්ගලයන් දත්ත වලට සවන්දීම වැළැක්වීම සහ පරිශීලකයාට දුරස්ථව වැඩ කිරීමට ඉඩ සලසනවා. මෙය එක් ජාලයක සිට තවත් ජාලයක් වෙත අන්තර්ජාලය හරහා සෑදූ උමං මාර්ගයක් කිව්වොත් හරියටම හරි. ඒ කියන්නෙ ඒ උමග හරහා යන තොරතුරු වෙන කොහෙටවත් යන්නෙ නෑ කියන එක.




ඉතිං සරලව ගත්තාම මේ LAN ජාලයක් මගින් නගරයක් හෝ නගර ආවරණය කළ නොහැකි වන අතර, නගරයක් හෝ නගර සමූහයක් එකට සම්බන්ධ කිරීමට MAN ජාලයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි රටවල් හෝ රටවල් සමූහයක් සම්බන්ධ කිරීම සඳහා WAN ජාලයක් අවශ්‍ය වෙනවා.




එතකොට මම මේ ලිපියෙන් කතා කරේ ජාල වර්ගීකරණය ගැන. පරිගණක ජාල ගැන තවත් විස්තර ඉදිරි ලිපි මගින් කතා කරමු... සුභ දවසක්..!!


-Nikhz-

1 comment: